عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The Believers [Al-Mumenoon] - Sinhalese translation - Rowwad Translation Center

Surah The Believers [Al-Mumenoon] Ayah 118 Location Maccah Number 23

දේවත්වය විශ්වාස කරන්නෝ සැබැවින් ම ජය ලැබුවෝ ය.

ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයේ දී බිය බැතිමතුන් වෙති.

තවද ඔවුහු වනාහි නිෂ්ඵල දැයින් වැළකෙන්නෝ වෙති.

තවද ඔවුහු වනාහි zසකාත් ඉටු කරන්නෝ වෙති.

තවද ඔවුහු වනාහි ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් සුරක්ෂා කර ගන්නෝ වෙති.

එහෙත් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ දකුණත් හිමි කර ගත් වහල් කාන්තාවන් (සමඟ) හැර. ඒ හේතුවෙන් නියත වශයෙන් ම ඔවුහු දොස් නගනු ලබන්නන් නො වෙති.

එහෙයින් කවරෙකු ඉන් ඔබ්බට සොයන්නේ ද? එවිට ඔවුහු මය සීමාව ඉක්මවා යන්නෝ.

තවද ඔවුහු වනාහි (ඔවුන් වෙත විශ්වාසය මත පැවරුණු) ඔවුන්ගේ පැවරුම් හා ඔවුන්ගේ ගිවිසුම් ආරක්ෂා කරන්නෝ වෙති.

තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයන් පිළිබඳ සුපරීක්ෂාවෙන් කටයුතු කරන්නෝ වෙති.

ඔවුහු මය උරුමක්කරුවෝ.

ෆිර්දවුස්(නම් ස්වර්ග)ය උරුම කර ගත්තෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.

සැබැවින් ම අපි මැටි සාරයෙන් මිනිසා මැව්වෙමු.

පසුව අපි ඔහු සුරක්ෂිත ස්ථානයක ශුක්‍රාණුවක් ලෙස තැන්පත් කළෙමු.

පසුව අපි එම ශුක්‍රාණුව එල්ලී පවතින ලේ කැටියක් බවට නිර්මාණය කළෙමු. පසුව එම එල්ලී පවතින ලේ කැටිය මස් ගොබක් බවට නිර්මාණය කළෙමු. පසුව එම මස් ගොබ අස්ථි බවට නිර්මාණය කළෙමු. පසුව අපි එම අස්ථි මසින් ඇන්දෙව්වෙමු. පසුව අපි ඔහුව වෙනත් මැවීමක් ලෙසින් බිහි කළෙමු. එහෙයින් උත්පාදකයින්ගෙන් වඩාත් අලංකාර වූ අල්ලාහ් අතිඋත්කෘෂ්ට විය.

ඉන් අනතුරුව නියත වශයෙන් ම නුඹලා මරණයට පත් වන්නෝ වෙති.

පසුව නියත වශයෙන් ම නුඹලා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නැගිටුවනු ලබති.

තවද නුඹලාට ඉහළින් මාවත් හතක් මැව්වෙමු. තවද මැවීම් පිළිබඳව අපි අනවධානීන් නො වූයෙමු.

තවද අපි අහසින් ජලය ප්‍රමාණ කොට පහළ කර මහපොළොවට පතිත කළෙමු. එමෙන් ම නියත වශයෙන් ම අපි එය පහ කිරීමටත් බලය ඇත්තෝ වන්නෙමු.

පසුව අපි එමඟින් නුඹලාට ඉඳි හා මිදියෙන් යුත් උයන් බිහි කළෙමු. එහි නුඹලාට අධික පලතුරු ද ඇත. එමඟින් නුඹලා අනුභව කරන්නෙහු ය.

තවද තූර් සයිනා කන්දෙන් මතු වන ගසක් ද (අපි බිහි කළෙමු.) එය තෙල ද අනුභව කරන්නන්හට ව්‍යංජනයක් ද හට ගන්වයි.

තවද නියත වශයෙන් ම ගොවිපළ සතුන් තුළ නුඹලාට පාඩමක් ඇත. උන්ගේ උදරය තුළ ඇති දැයින් අපි නුඹලාට පානය සපයන්නෙමු. තවද නුඹලාට එහි බොහෝ ප්‍රයෝජන ද ඇත. තවද නුඹලා එයින් අනුභව කරන්නෙහු ය.

තවද ඒ මත ද නැව මත ද නුඹලා උසුලාගෙන යනු ලබන්නෙහු ය.

තවද සැබැවින් ම අපි නූහ් ඔහුගේ සමූහයා වෙත එව්වෙමු. එවිට ඔහු අහෝ මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවියෙකු නොමැත. නුඹලා බිය බැතිමත් නො වන්නෙහු ද?

එවිට ඔහුගේ ජනයා අතරින් වූ ප්‍රතික්ෂේප කළ ප්‍රධානීහු ‘මොහු නුඹලා මෙන් මිනිසකු මිස නැත. නුඹලාට වඩා උසස් වන්නට ඔහු අපේක්ෂා කරයි. අල්ලාහ් අභිමත කළේ නම් මලක්වරුන් පහළ කරන්නට තිබුණි. මේ පිළිබඳ අපගේ මුල් මුතුන් මිත්තන්ගෙන් පවා අප අසා නැත’ යැයි පැවසූහ.

ඔහු උමතුව ඇති මිනිසකු මිස නැත. එහෙයින් ටික කලක් දක්වා ඔහු ගැන බලා පොරොත්තුවෙන් සිටිනු.

මාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා බොරු කිරීම සම්බන්ධයෙන් ඔබ මට උදව් කරනු මැනව! යැයි ඔහු පැවසුවේ ය.

අපගේ අධීක්ෂණය හා අපගේ දේව පණිවිඩ අනුව නුඹ නැව තනනු යැයි අපි ඔහු වෙත දේව පණිවිඩ එව්වෙමු. අපගේ නියෝගය පැමිණි විට හා ලිප උතුරන විට සෑම දෙයක ජෝඩුවකින් ම දෙදෙනෙකු බැගින් ද ඔවුන් අතරින් කවරෙකු කෙරෙහි විනිශ්චය පෙරටු වූයේ ද එවන් අය හැර නුඹගේ පවුලේ සෙසු අය ද එහි කැටුවා ගෙන යනු. තවද අපරාධ කළවුන් සම්බන්ධයෙන් නුඹ මා සමඟ කතා නො කරනු. නියත වශයෙන් ම ඔවුහු ගිල් වනු ලබන්නෝ වෙති.

නුඹ හා නුඹ සමඟ වූවන් නැවට නැග සිටි විට, ‘අපරාධකාරී ජනයාගෙන් අප මුදවා ගත් අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා’ යැයි නුඹ පවසනු.

තවද මාගේ පරමාධිපතියාණනි! සමෘද්ධිමත් ස්ථානයකට මා ගොඩ බස්වනු මැනව! තවද නුඹ ගොඩ බස්වන්නන් අතර ශ්‍රේෂ්ඨය යැයි නුඹ පවසනු.

නියත වශයෙන් ම එහි සංඥා ඇත. තවද සැබැවින් ම අපි පරීක්ෂා කරනු ලබන්නන් වූයෙමු.

අනතුරුව ඔවුන්ගෙන් පසුව අපි වෙනත් පරපුරක් බිහි කළෙමු.

‘නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නුඹලාට නොමැත. නුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ?’ යි විමසමින් අපි ඔවුන්ගෙන් වූ රසූල්වරයකු එවිට ඔවුන් අතරට එව්වෙමු.

ඔහුගේ ජනයා අතරින් (සත්‍යය) ප්‍රතික්ෂේප කළ, පරමාන්ත දිනයේ හමුව (ගැන) බොරු කළ, තවද මෙලොවෙහි ඔවුනට සුපෝඛබෝගී ජීවිතයක් අප පිරිනැමූ ප්‍රධානීහු "මොහු නුඹලා මෙන් මිනිසකු මිස නැත, නුඹලා අනුභව කරන දැයින් ඔහු ද අනුභව කරයි. නුඹලා පානය කරන දැයින් ඔහු ද පානය කරයි" යැයි පැවසුවෝ ය.

තවද නුඹලා මෙන් වූ මිනිසකුට නුඹලා යටත් වූයේ නම් එවිට නියත වශයෙන් ම නුඹලා අලාභවන්තයෝ වන්නෙහු ය.

නියත වශයෙන් ම නුඹලා මිය ගොස්, පස් හා අස්ථි බවට නුඹලා පත් වූ විට නියත වශයෙන් ම නුඹලා (ට නැවත ප්‍රාණය දී) බැහැර කරනු ලබන්නෝ යැයි ඔහු නුඹලාට ප්‍රතිඥාවක් දෙන්නේ ද?

නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ දුරස්ය. ඉතා දුරස් ය.

මෙය, අපගේ මෙලොව ජීවිතය හැර වෙනෙකක් නො වේ. අපි මිය යන්නෙමු. තවද අපි ජීවත් වන්නෙමු. තවද අපි නැවත නැගිටුවනු ලබන්නන් නො වෙමු.

ඔහු අල්ලාහ්ට එරෙහිව බොරුවක් ගොතා පවසන මිනිසෙකු මිස නැත. තවද අපි ඔහුව විශ්වාස කරන්නන් නො වෙමු.

මාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා බොරු කිරීම සම්බන්ධයෙන් ඔබ මට උදව් කරනු මැනව! යැයි ඔහු පැවසුවේ ය.

මද කලකින් සැබැවින් ම ඔවුන් පසුතැවිලි වන්නන් බවට පත් වනු ඇතැයි ඔහු පැවසුවේ ය.

එවිට මහා හඬ සැබෑ ලෙසින් ම ඔවුන්ව හසු කර ගත්තේ ය. පසුව වියළී ගිය ඉපැනැලි බවට අපි ඔවුන් පත් කළෙමු. එහෙයින් අපරාධකාරී ජනයාට ශාපයක් ම වේවා!

අනතුරුව ඔවුන්ගෙන් පසුව අපි වෙනත් පරම්පරාවන් බිහි කළෙමු.

කිසිදු සමූහයක් එහි නියමිත කාලය අබිබවා නො යනු ඇත. තවද ඔවුහු ප්‍රමාද ද නො වනු ඇත.

පසුව අපගේ දූතවරුන් අනුපිළිවෙළින් අපි එව්වෙමු. සමූහයක් වෙත එහි පණිවිඩකරුවෙකු පැමිණි සෑම අවස්ථාවකම ඔවුහු ඔහුව බොරු කළෝ ය. එහෙයින් ඔවුන්ගෙන් ඇතැමෙකුව ඇතැමෙකුට පසු අනුගමනය කිරීමට සැළැස්සුවෙමු. තවද ඔවුන්ව (පුරාණ ඉතිහාස) පුවත් බවට පත් කළෙමු. එහෙයින් දේවත්වය විශ්වාස නො කරන ජනයාට (අල්ලාහ්ගේ ආශිර්වාදයෙන්) දුරසක් ම වේවා!

පසුව අපි අපගේ සංඥා හා පැහැදිලි සාධක සමඟ මූසා හා ඔහුගේ සහෝදර හාරූන් යැව්වෙමු.

ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත. එහෙත් ඔවුහු උඩඟු වූහ. තවද ඔවුහු අහංකාර පිරිසක් වූහ.

අප මෙන් මිනිසුන් දෙදෙනෙකු අපි විශ්වාස කළ යුතු ද? ඔවුන් දෙදෙනාගේ ජනයා අපට ගැතිකම් කරන්නනෝ වෙති යැයි ඔවුහු පැවසුවෝ ය.

එහෙයින් ඔවුහු ඔවුන් දෙදෙනා බොරු කළෝ ය. එවිට ඔවුහු විනාශ කරනු ලැබූවන් අතරින් වූහ.

තවද ඔවුන් ඍජු මග ලැබිය හැකි වනු පිණිස සැබැවින් ම අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු.

තවද මර්යම්ගේ පුත් හා ඔහුගේ මව සංඥාවක් බවට අපි පත් කළෙමු. තවද උල්පත් හා නිශ්චල උස් තැනි තලාවක ඔවුන් දෙදෙනාට අපි නවාතැන් දුනිමු.

අහෝ දූතවරුනි! පිවිතුරු දැයින් නුඹලා අනුභව කරනු. තවද දැහැමි කටයුතු සිදු කරනු. නියත වශයෙන් ම මා නුඹලා කරන දෑ පිළිබඳ සර්ව ඥානී ය.

තවද නුඹලාගේ මෙම සමාජය එක ම සමාජයකි. තවද මම නුඹලාගේ පරමාධිපති වෙමි. එහෙයින් නුඹලා මට බිය බැතිමත් වනු.

එහෙත් ඔවුහු ඔවුන්ගේ කරුණ ඔවුන් අතර වෙන් වෙන්ව බෙදා වෙන් කර ගත්තෝ ය. සෑම පක්ෂයක් ම ඔවුන් සතු දෑ පිළිබඳව සතුටු වන්නෝ වූහ.

එහෙයින් මද කලකට ඔවුන්ගේ අඥානකමෙහි නුඹ ඔවුන් අත් හැර දමනු.

අප කවර දෙයක් ධනයෙන් හා දරුවන්ගෙන් ඔවුනට පිරිනමන්නේ ද එමඟින්...

අපි ඔවුනට යහපත ඉක්මන් කරන්නෙමු යැයි ඔවුහු සිතන්නෝ ද? නැත. ඔවුහු (ඒ බව) නො හඟති.

නියත වශයෙන් ම ඔවුන්ගේ පරමාධිපති ගැන වූ බිය හේතුවෙන් තැති ගත් අය ද,

තවද ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් පිළිබඳ විශ්වාස කරන අය ද,

තවද ඔවුන්ගේ පරමාධිපතිට ආදේශ නො තබන අය ද,

නියත වශයෙන් ම ඔවුන්ගේ පරමාධිපති වෙත නැවත හැරෙන්නන් වනු ඇතැයි ඔවුන්ගේ හදවත් තැති ගනිමින් තිබිය දී ඔවුනට පිරිනැමූ දෑ පිරිනමන අය ද,

තවද (මෙවැන්නන්) යහකම් කිරීමෙහි යුහුසුලු වනුයේ ඔවුහු ම ය. තවද ඔවුහු ඒ සඳහා ඉදිරියෙන් සිටින්නෝ වෙති.

තවද කිසිදු ආත්මයකට එහි ප්‍රමාණයට මිස අපි (කිසිවක්) නො පටවන්නෙමු. සත්‍යය කතා කරන පුස්තකයක් අප අතර ඇත. තවද ඔවුහු අපරාධ කරනු නො ලබති.

එහෙත් ඔවුන්ගේ හදවත් මේ පිළිබඳව අඥානභාවයෙහි පවතී. තවද ඔවුනට මේ හැර වෙනත් (අයහපත්) ක්‍රියාදාමයන් ද ඇත. ඔවුහු එය සිදු කරන්නෝ වෙති.

අපි ඔවුන් අතර වූ සුඛෝපභෝගී ජීවිතයක් දෙනු ලැබූවන් දඬුවමින් හසු කරගන්නා තෙක් එසේ පවතී. එවිට ඔවුහු බැගෑපත් වෙති.

අද දින නුඹලා බැගෑපත් නො වනු. නියත වශයෙන් ම නුඹලා අපගෙන් උදව් නො ලබනු ඇත.

නුඹලා කෙරෙහි මාගේ වදන් පාරායනය කරනු ලබමින් තිබිණ. එහෙත් නුඹලා (එයින්) වැළකී නුඹලා හැරී පලා යමින් සිටියෙහු ය.

එවිට නුඹලා ඒ ගැන උඩඟුවන්නන් ලෙසින් රාත්‍රියේ පුහු කතාවල නිරතවෙමින් සිටියෙහු ය.

එහෙයින් ඔවුහු එම ප්‍රකාශය (අල් කුර්ආනය) පරිශීලනය නො කළෝ ද? එසේ නැතහොත් ඔවුන්ගේ මුල් මුතුන් මිත්තන්හට නොපැමිණි දෑ ඔවුන් වෙත පැමිණ තිබේ ද?

එසේ නැතහොත් ඔවුන්ගේ ධර්ම දූතයාණන් ගැන ඔවුහු නොදැන, පසුව ඔවුහු ඔහු ප්‍රතික්ෂේප කරන්නෝ ද?

එසේ නැතහොත් ඔහු උමතුවෙන් පෙළෙනු ඇතැයි ඔවුහු පවසන්නෝ ද? එසේ නො ව, ඔහු ඔවුන් වෙත සත්‍යය සමඟ පැමිණියේ ය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සත්‍යය පිළිකුල් කරන්නෝ වූහ.

තවද සත්‍යය ඔවුන්ගේ ආශාවන් අනුගමනය කළේ නම් අහස් හා මහපොළොව ද ඒවායෙහි ඇති අය ද දූෂිත වී යනු ඇත. එසේ නො ව, ඔවුනට උපදෙසක් අපි පිරිනැමුවෙමු. එහෙත් ඔවුහු ඔවුන්ගේ මෙනෙහි කිරීමෙන් වැළකෙන්නෝ වූහ.

එසේ නැතහොත්, නුඹ ඔවුන්ගෙන් යම් කුලියක් ඉල්ලුවෙහි ද? නුඹගේ පරමාධිපතිගේ කුලිය ශ්‍රේෂ්ඨ ය. තවද ඔහු පෝෂකයින් අතරින් ද ශ්‍රේෂ්ඨයා ය.

තවද නියත වශයෙන් ම නුඹ ඔවුන් ඍජු මාර්ගය වෙත ඇරයුම් කරන්නෙහි ය.

තවද නියත වශයෙන් ම මතු ලොව විශ්වාස නො කරන්නන් එම මාර්ගයෙන් හැරෙන්නෝ වෙති.

තවද අපි ඔවුනට කරුණාව දක්වා ඔවුනට අත් වූ පීඩාව අපි පහ කළේ නම් ඔවුහු ඔවුන්ගේ මුළාවෙහිම ව්‍යාකූලත්වයෙන් වෙළී එල්බ සිටිනු ඇත.

තවද සැබැවින් ම අපි ඔවුන් දඬුවමින් ග්‍රහණය කළෙමු. එහෙත් ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිට යටහත් නො වූහ. තවද ඔවුහු බැගෑපත් නො වූහ.

අවසානයේ අපි ඔවුන් වෙත දැඩි දඬුවමින් යුත් දොරටු විවෘත කළ විට ඔවුහු එහි බලාපොරොත්තු සුන් වූවෝ වූහ.

තවද නුඹලාට ශ්‍රවණය ද, දෘෂ්ටීන් ද, හදවත් ද නිර්මාණය කළේ ඔහු ම ය. නුඹලා කෘතඥ වනුයේ ස්වල්පයකි.

මහපොළොවේ නුඹලාව මැව්වේ ඔහු ම ය. තවද ඔහු වෙත ම නුඹලා රැස් කරනු ලබනු ඇත.

තවද ජීවය දෙන්නා ද, මරණයට පත් කරන්නා ද ඔහු ය. රාත්‍රිය හා දහවල වෙනස් වීම ඔහු සතු ය. එහෙයින් නුඹලා වටහා ගත යුතු නො වේ ද?

එසේ නො ව, මුතුන් මිත්තන් පැවසුවාක් මෙන් ඔවුහු ද පැවසුවෝ ය.

අපි මියගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන් ම අපි නැවත නැගිටුවනු ලබන්නෙමු දැ? යි ඔවුහු විමසූවෝ ය.

මීට පෙර අප හා අපගේ මුතුන් මිත්තන් මේ සම්බන්ධයෙන් ප්‍රතිඥා දෙනු ලැබුවෙමු. මෙය මුතුන් මිත්තන්ගේ ප්‍රබන්ධයන් මිස වෙනත් කිසිවක් නැත.

නුඹලා දැන සිටියෙහු නම් මහපොළොව හා එහි ඇත්තන් කවුරුන් සතු දැ? යි නුඹ විමසනු.

අල්ලාහ් සතු යැයි ඔවුහු පවසනු ඇත. එසේ නම් නුඹලා මෙනෙහි කළ යුතු නො වේ දැ? යි විමසනු.

අහස් හතෙහි හිමිපාණන් හා මහත් වූ අර්ෂ්හි හිමිපාණන් කවුරුන් දැ? යි නුඹ විමසනු.

අල්ලාහ් සතු යැයි ඔවුහු පවසනු ඇත. එසේ නම් නුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ? යි නුඹ විමසනු.

සියලු දෑහි පාලනයන් තම අතෙහි ඇත්තා කවුරුන් දැ? යි නුඹ විමසනු. තවද ඔහු රැකවරණය සලසයි. තවද ඔහු කිසිවකුගෙන් රැකවරණය නො ලබයි. නුඹලා දැන සිටියාහු නම්!

අල්ලාහ් සතු යැයි ඔවුහු පවසනු ඇත. එසේ නම් නුඹලා වශී කරනු ලබනුයේ කෙසේ දැ? යි නුඹ විමසනු.

එසේ නො ව, අපි ඔවුන් වෙත සත්‍යය ගෙන ආවෙමු. තවද නියත වශයෙන් ම ඔවුහු මුසාවාදීහු ම ය.

අල්ලාහ් කිසිදු දරුවකු නො ගත්තේ ය. තවද ඔහු සමඟ කිසිදු දෙවියකු ද නො වීය. එසේ (දෙවිවරු කිහිප දෙනෙකු) වූ විට සෑම දෙවියෙකු ම ඔහු මැවූ දෑ සමඟ පහව යනු ඇත. ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා උසස් වනු ඇත. ඔවුන් වර්ණනා කරන දැයින් අල්ලාහ් සුපිවිතුරු ය.

ඔහු අදෘශ්‍යමාන දෑ හා දෘශ්‍යමාන දෑ පිළිබඳ සර්ව ඥානී ය. එහෙයින් ඔවුන් ආදේශ තබන දැයින් ඔහු උත්තරීතර විය.

මාගේ පරමාධිපතියාණනි! ඔවුනට ප්‍රතිඥා දෙනු ලබන දෑ නුඹ මට පෙන්වා දෙන්නේ නම් මැනව! යැයි නුඹ පවසනු.

මාගේ පරමාධිපතියාණනි! අපරාධකාරී ජනයා අතරට මා පත් නො කරනු මැනව! (යැයි නුඹ පවසනු.)

තවද අප ඔවුනට පොරොන්දු වන දෑ නුඹට පෙන්වීමට නියත වශයෙන් ම අපි බලය ඇත්තෝ වෙමු.

වඩාත් අලංකාර වනුයේ කුමක් ද? එමඟින් (නබිතුමණි) නුඹ නපුර වළක්වා ගනු. ඔවුන් වර්ණනා කරන දෑ පිළිබඳව අපි මැනවින් දන්නෙමු.

තවද මාගේ පරමාධිපතියාණනි! ෂෙයිතානුන්ගේ පෙලඹවීම්වලින් මම නුඹගෙන් ආරක්ෂාව පතමි යැයි නුඹ පවසනු.

තවද මාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා වෙත සම්මුඛ වීමෙන් මම නුඹගෙන් ආරක්ෂාව පතමි.

අවසානයේ ඔවුන්ගෙන් කෙනෙකු වෙත මරණය පැමිණි විට මාගේ පරමාධිපතියාණනි! නුඹ මා නැවත හරවා යවනු මැනව! යැයි ඔහු පවසයි.

මා අතපසු කළ දෑහි දැහැමි දෑ ඉටු කිරීම සඳහා (එසේ හරවා යවනු මැනව!) එසේ නොව නියත වශයෙන් ම එය ඔහු පවසන ප්‍රකාශයක් පමණි. ඔවුන්ගෙන් පසුව ඔවුන් නැවත නැගිටු වනු ලබන දිනය දක්වා බාධකයක් ඇත.

එවිට හොරණෑවෙහි පිඹිනු ලැබූ විට එදින ඔවුන් අතර සම්බන්ධතා නො පවතී. තවද ඔවුන් එකිනෙකා විමසා නො ගනිති.

එහෙයින් කවරෙකුගේ තුලාවන් බරින් වැඩි වූයේ ද එවිට ඔවුහු මය ජයග්‍රාහකයෝ.

තවද කවරෙකුගේ තුලාවන් බරින් සැහැල්ලු වූයේ ද තමන්ට ම අලාභහානි කර ගත්තෝ ඔවුහු ම ය. ඔවුහු නිරයේ සදාතනිකයෝ වෙති.

(නිරා) ගින්න ඔවුන්ගේ මුහුණු දවාලයි. තවද ඔවුහු එහි විකෘති වූවෝ වෙති.

මාගේ වදන් නුඹලා වෙත කියවා පෙන්වනු නො ලැබුවේ ද? එවිට නුඹලා එය බොරු කරමින් සිටියෙහු ය.

අපගේ පරමාධිපතියාණනි! “අපගේ අභාග්‍යය අපට ඉහළින් අබිබවා ගොස් ඇත. තවද අපි නොමග ගිය පිරිසක් වූයෙමු” යැයි ඔවුහු පවසති.

අපගේ පරමාධිපතියාණනි! අපව ඉන් බැහැර කරනු මැනව! එසේ අපි (නොමඟ වෙත) හැරුණේ නම් එවිට නියත වශයෙන් ම අපි අපරාධකරුවෝ වෙමු. (යැයි ඔවුහු පවසති.)

නුඹලා එහි පහත් බවින් සිටිනු. තවද නුඹලා මට කතා නො කරනු යැයි ඔහු පවසයි.

නියත වශයෙන් ම මාගේ ගැත්තන් අතරින් පිරිසක් විය. ඔවුහු අපගේ පරමාධිපතියාණනි! අපි විශ්වාස කළෙමු. එහෙයින් අපට සමාව දෙනු මැනව! තවද අපට කරුණා කරනු මැනව! තවද ඔබ කරුණාවන්තයින්ගෙන් ශ්‍රේෂ්ඨතමයාය යැයි පවසමින් සිටිති.

එවිට නුඹලා මා මෙනෙහි කිරීම ඔවුන් නුඹලාට අමතක කර වන තෙක් නුඹලා ඔවුන් සරදමට ගත්තෙහු ය. තවද නුඹලා ඔවුන් ගැන සිනහසෙමින් සිටියෙහු ය.

(නුඹලාගේ සරදම් නො තකා) ඔවුන් ඉවසීමෙන් සිටි බැවින් අද දින නියත වශයෙන් ම මම ඔවුනට ප්‍රතිඵල පිරිනැමුවෙමි. නියත වශයෙන් ම ඔවුහු මය ජයග්‍රාහකයෝ.

නුඹලා මහපොළොවෙහි කොපමණ වසර ගණනාවක් රැඳී සිටියෙහු ද? යැයි ඔහු විමසනු ඇත.

දිනක් හෝ දිනක කොටසක් අපි රැඳී සිටියෙමු. එහෙයින් නුඹ ගණන් කරන්නන්ගෙන් විමසනු යැයි ඔවුහු පවසති.

නුඹලා ස්වල්ප කාලයක් මිස රැඳී නො සිටියෙහු ය. නියත වශයෙන් ම නුඹලා දැන සිටියාහු නම් යැයි ඔහු පැවසුවේ ය.

නියත වශයෙන් ම අපි නුඹලා නිකමට මවා ඇතැයි ද නියත වශයෙන් ම නුඹලා අප වෙත නැවත හැරී නො එනු ඇතැයි ද නුඹලා සිතුවෙහු ද?

එහෙයින් සත්‍ය රජු වූ අල්ලාහ් උත්තරීතර ය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ගෞරවනීය අර්ෂ්හි හිමිපාණන් ය.

තවද කවරෙකු අල්ලාහ් සමඟ වෙනත් දෙවියකු ඇරයුම් කරන්නේ ද ඔහුට කිසිදු සාධකයක් නොමැත. එහෙයින් ඔහුගේ විනිශ්චය ඔහුගේ පරමාධිපති අබියස ය. නියත වශයෙන් ම දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් ජය නො ලබනු ඇත.

මාගේ පරමාධිපතියාණනි! නුඹ සමාව දෙනු මැනව! තවද කරුණා කරනු මැනව! තවද නුඹ කරුණාවන්තයින්ගෙන් අතිශ්‍රේෂ්ඨය යැයි (නබිවරය!) නුඹ පවසනු.