The Noble Qur'an Encyclopedia
Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languagesThe Prostration [As-Sajda] - Sinhalese translation - Rowwad Translation Center
Surah The Prostration [As-Sajda] Ayah 30 Location Maccah Number 32
අලිෆ්, ලාම්, මීම්.
මෙම ග්‍රන්ථයේ පහළවීම ලෝවැසියන්ගේ පරමාධිපතියාණන්ගෙනි. එහි කිසිදු සැකයක් නැත.
එසේ නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුහු පවසන්නෝ ද? එසේ නොව එය ඔබට පෙර කිසිදු අවවාද කරන්නෙකු හෝ ඔවුන් වෙත නොපැමිණි පිරිසකට ඔබ අවවාද කරනු පිණිසත් ඔවුන් යහමග ලැබිය හැකි වනු පිණිසත් ඔබගේ පරමාධිපතිගෙන් පැමිණි සත්‍යයකි.
අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයකින් මැව්වේ අල්ලාහ් ය. පසුව ඔහු රාජාසනය මත ස්ථාපිත විය. ඔහු හැර කිසිදු භාරකරුවකු හෝ මැදිහත්කරුවකු හෝ නුඹලාට නොමැත. (මෙයින්) නුඹලා උපදෙස් ලැබිය යුතු නො වේ ද?
අහසේ සිට මහපොළොව දක්වා වූ සියලු ම කරුණු ඔහු සැලසුම් කරයි. පසුව එහි ප්‍රමාණය නුඹලා ගණන් කරන වසර දහසක් වූ දිනක ඔහු වෙත එය ආරෝහණය වෙයි.
ඔහු අදෘශ්‍යමාන දෑ හා දෘශ්‍යමාන දෑ පිළිබඳ දැනුමැති සර්ව බලධාරී මහා කරුණාන්විත ය.
ඔහු මැවූ සියලු දෑ අලංකාරවත් කළේ ය. තවද මිනිසාගේ මැවීම මැටියෙන් ආරම්භ කළේ ය.
පසුව ඔහුගේ පරපුර අල්පේච්චිත ජල ධාතුවෙන් ඇති කළේ ය.
පසුව ඔහු ඔහුව හැඩ ගන්වා ඔහුගේ ප්‍රාණයෙන් ඔහු තුළ පිඹ ප්‍රාණවත් කළේ ය. තවද නුඹලාට ශ්‍රවණය, දෘෂ්ටීන් හා හදවත් ඇති කළේ ය. එහෙත් නුඹලා කෘතවේදී වනුයේ ස්වල්පයකි.
තවද අපි මහපොළොවෙන් තුරන්ව ගිය විට නියත වශයෙන් ම අපි අලුත් මැවීමක් වන්නෙමු ද? යැයි ඔවුහු ප්‍රශ්න කළෝ ය. එසේ නො ව, ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ හමුව ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.
නුඹලාව භාර කරනු ලැබූ මලකුල් මවුත් හෙවත් මරණයේ දූතයා නුඹලා මරණයට පත් කරයි. පසුව නුඹලාගේ පරමාධිපති වෙත නුඹලා යොමු කරනු ලබනු ඇත යැයි (නබිවරය!) නුඹ පවසනු.
එවිට වැරදිකරුවන් තම පරමාධිපති අබියස තම හිස් පහත් කර ගනිමින් අපගේ පරමාධිපතියාණනි! අපි දුටුවෙමු. අපි සවන් දුන්නෙමු. එහෙයින් අපව නැවත එවනු මැනව! අපි යහකම් කරන්නෙමු. නියත වශයෙන් ම අපි ස්ථීරව විශ්වාස කරන්නෝ වෙමු යැයි ඔවුන් පවසනු නුඹ දක්නිනේ නම් (එදින තත්ත්වය නුඹට හෙළි වේ.)
තවද අපි අභිමත කළේ නම් සෑම ආත්මයකට එහි යහමග (මුල සිටම) පිරිනමන්නට තිබුණි. එහෙත් (අපරාධකාරී) ජින් වර්ගයා සහ මිනිස් වර්ගයා යන සියල්ලන්ගෙන් මම නිරය පුරවන්නෙමි යන මා විසින් වූ ප්‍රකාශය නියම වී ඇත.
එහෙයින් මේ නුඹලාගේ දිනයේ හමුව නුඹලා අමතක කළ බැවින් නුඹලා භුක්ති විඳිනු. නියත වශයෙන් ම අපි නුඹලා අමතක කළෙමු. තවද නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් සදාතනික දඬුවම භුක්ති විඳිනු.
අපගේ වදන් විශ්වාස කරනුයේ ඒවා ඔවුනට මෙනෙහි කරනු ලබන විට (සිරස බිම තබා) සුජූද් කරමින් බිම වැටී ඔවුන්ගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කළ අය වෙති. තවද ඔවුහු උඬගු නො වෙති.
ඔවුන්ගේ ඇලපත් නිදියහන්වලින් ඔසවා ගෙන බියෙන් හා ආසාවෙන් ඔවුන්ගේ පරමාධිපතිට ඇරයුම් කරති. තවද අප ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුහු වියදම් කරති.
එහෙයින් ඔවුන් සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් සඳහා සඟවා තබනු ලැබූ ඇස් පින වන දෑ කිසිදු ආත්මයක් නො දනී.
කවරෙකු විශ්වාසවන්තයෙකු වූයේ ද ඔහු පාපතරයකු වූ අය මෙන් විය හැකි ද? ඔවුහු සමාන නො වෙති.
විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන් සිදු කළ දෑ හේතුවෙන් ඔවුනට සංග්‍රහයක් වශයෙන් නවාතැන් සහිත ස්වර්ග උයන් ඇත.
තවද පාපකම් කළවුන් වූ කලී ඔවුන්ගේ නවාතැන (නිරයේ) ගින්න ය. ඉන් බැහැර වීමට ඔවුන් සිතන සෑම මොහොතකම ඔවුන් එහි නැවත යොමු කරනු ලබති. තවද නුඹලා කවර දෙයක් පිළිබඳ බොරු කරමින් සිටියෙහු ද එම ගින්නේ දඬුවම නුඹලා භුක්ති විදිනු යැයි ඔවුනට පවසනු ලැබේ.
තවද (පාපකම්වලින්) ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස මෙම මහත් දඬුවමට පෙර සුළු දඬුවමකින් ඔවුනට විඳවන්නට සලස්වමු.
තවද තම පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලැබ පසුව ඒවා පිටුපාන්නාට වඩා අපරාධකරු කවරෙකු ද? නියත වශයෙන් ම අපි වැරදි කරන්නන්ට ප්‍රතිවිපාක දෙන්නෝ වෙමු.
තවද සැබැවින් ම අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු. එහෙයින් ඔහුගේ හමුව පිළිබඳව සැකයෙහි නො වනු. තවද අපි එය ඉස්රාඊල් දරුවන්ට මග පෙන්වීමක් බවට පත් කළෙමු.
තවද ඔවුන් ඉවසා අපගේ වදන් තරයේ විශ්වාස කරමින් සිටි හෙයින් අපගේ නියෝගය පරිදි මග පෙන්වන නායකයින් ඔවුන් අතරින් අපි පත් කළෙමු.
ඔවුන් කවර දෙයක් ගැන මතභේද ඇති කරගෙන සිටියේ ද නියත වශයෙන් ම ඒ ගැන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී ඔබේ පරමාධිපති වන ඔහු ඔවුන් අතර තීන්දු කරයි.
තවද ඔවුනට පෙර, පරම්පරාවන් කොපමණක් අපි විනාශ කළෙමු ද? මොවුන් ඔවුන්ගේ වාසස්ථාන හරහා ගමන් කරති. එය ඔවුනට මගපෙන්වීමක් නො වී ද? නියත වශයෙන් ම එහි සංඥා ඇත. ඔවුහු සවන් නො දෙන්නෝ ද?
තවද නියත වශයෙන් ම අප ජලය නිසරු පොළොව වෙත ගෙන ගොස් එමඟින් ඔවුන්ගේ ගොවිපළ සතුන් හා ඔවුන් අනුභව කරන භෝග අප හටගැන්වීම ඔවුහු නො දුටුවෝ ද? ඔවුහු නිරීක්ෂා කර නො බලන්නෝ ද?
තවද නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ජයග්‍රහණය කවදා දැ? යි (නුඹලා පවසනු යැයි) ඔවුහු විමසති.
ජයග්‍රහණයේ දින, දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට ඔවුන්ගේ විශ්වාසය ඵල දෙන්නේ නැත. තවද ඔවුහු අවකාශ දෙනු ලබන්නන් නො වෙති යැයි (නබිවරය!) නුඹ පවසනු.
එහෙයින් ඔබ ඔවුන් ගැන නො සලකා හරිනු. තවද ඔබ අපේක්ෂාවෙන් සිටිනු. නියත වශයෙන් ම ඔවුහු ද අපේක්ෂාවෙන් සිටින්නෝ වෙති.