عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

Ya Seen [Ya Seen] - Sinhalese translation - Rowwad Translation Center

Surah Ya Seen [Ya Seen] Ayah 83 Location Maccah Number 36

යා සීන්.

ප්‍රඥාවෙන් යුත් අල් කුර්ආනය මත දිවුරමින්,

(නබි මුහම්මද්!) නියත වශයෙන් ම නුඹ ධර්ම දූතවරුන් අතරින් කෙනෙකි.

(ඔබ) ඍජු මාර්ගය මත ය.

(මෙය) මහා කරුණාන්විත සර්ව බලධාරියාණන්ගේ පහළ කිරීමකි.

ඔවුන්ගේ මුතුන් මිත්තන් අවවාද කරනු නො ලැබූ අනවධානීන් ලෙස සිටි පිරිසකට නුඹ අවවාද කරනු පිණිස ය.

ඔවුන්ගෙන් බහුතරයක් දෙනා මත (දඬුවමේ) ප්‍රකාශය සැබැවින් ම නියම විය. එහෙයින් ඔවුහු දේවත්වය විශ්වාස නො කරති.

නියත වශයෙන් ම අපි ඔවුන්ගේ ගෙලවලට විලංගු දැමුවෙමු. එවිට එය නිකටවල් දක්වා පවතී. එහෙයින් ඔවුහු හිස ඔසවා ගෙන සිටින්නෝ වෙති.

තවද අපි ඔවුන් ඉදිරියෙන් බාධකයක් ද ඔවුනට පසුපසින් බාධකයක් ද ඇති කළෙමු. එසේ අපි ඔවුන් ආවරණය කළෙමු. එහෙයින් ඔවුනට බැලිය නොහැකි ය.

නුඹ ඔවුනට අවවාද කළ ද නුඹ ඔවුනට අවවාද නො කළ ද ඔවුන් වෙත එය එක සමාන ය. ඔවුහු විශ්වාස නො කරති.

නියත වශයෙන් ම නුඹ අවවාද කරනුයේ මෙම මෙනෙහි කිරීම අනුගමනය කොට නොපෙනෙන තත්ත්වයක මහා කරුණාන්විතයාණන්හට බියවූවන්ට ය. එහෙයින් සමාව හා ගෞරවනීය තිළිණ ඇති බව නුඹ ඔහුට ශුභාරංචි දන්වනු.

නියත වශයෙන් ම අපි මළවුන්ට ජීවය දෙන්නෙමු. ඔවුන් පෙර කළ දෑ ද ඔවුන්ගේ සලකුණු ද අපි සටහන් කරන්නෙමු. තවද සියලු දෑ අපි එය පැහැදිලි ලේඛනයක සටහන් කර ඇත්තෙමු.

තවද ගම්මානයට ධර්ම දූතවරුන් පැමිණි අවස්ථාවේ එහි වැසියන් පිළිබඳ උපමාවක් නුඹ ඔවුනට ගෙන හැර දක්වනු.

අපි ඔවුන් වෙත දෙදෙනකු එවූ විට ඔවුහු ඔවුන් දෙදෙනා බොරු කළෝ ය. එවිට අපි තුන්වැන්නාගෙන් බලවත් කළෙමු. එවිට “නියත වශයෙන් ම අපි නුඹලා වෙත එවනු ලැබූවන් වෙමු” යැයි ඔවුහු පැවසූහ.

“නුඹලා අප මෙන් මිනිසුන් මිස වෙනත් කිසිවකු නො වේ. තවද මහාකරුණාන්විතයාණන් කිසිවක් පහළ කළේ නැත. නුඹලා බොරු පවසන්නන් මිස නැතැයි” ඔවුහු පැවසුවෝ ය.

“නියත වශයෙන් ම අපි නුඹලා වෙත එවනු ලැබූවන් බව අපගේ පරමාධිපති දනී” යැයි ඔවුහු (රසූල්වරුන්) පැවසූහ.

“තවද පැහැදිලිව දන්වා සිටීම මිස අප වෙත (වෙනත් වගකීමක්) නොමැත.”

“නුඹලා නිසා අපි අසුබ තත්ත්වයට පත්ව ඇත්තෙමු. නුඹලා නො වැළකුණෙහු නම් අපි නුඹලා ගල් ගසා මරන්නෙමු. තවද අපගෙන් වූ වේදනීය දඬුවමක් නුඹලාට ඇති වනු ඇතැයි” ඔවුහු පැවසුවෝ ය.

(එවිට) නුඹලාට අනුශාසනා කරනු ලැබුව ද? නුඹලාගේ අගුණ නුඹලා සමඟ ය. එසේය නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසක් වන්නෙහුය යැයි ඔවුහු (එම රසූල්වරු) පැවසූහ.

තවද නගරයේ කෙළවර සිට මිනිසෙකු දිව ඇවිත් “මාගේ ජනයිනි! (අල්ලාහ් විසින්) එවනු ලැබූවන් නුඹලා අනුගමනය කරනු” යැයි පැවසුවේ ය.

“කිසිදු කුලියක් නුඹලාගෙන් ඉල්ලා නො සිටින්නන් නුඹලා අනුගමනය කරනු. තවද ඔවුහු යහමග ලැබූවෝ වෙති.”

තවද “මා මැවූ ඔහුට මා ගැතිකම් නො කර සිටීමට මට කුමක් වී ද? තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතට ම ය.”

“මා ඔහුගෙන් තොරව වෙනත් දෙවිවරුන් ගන්නෙම් ද? මහාකරුණාන්විතයාණෝ යම් හානියක් අභිමත කරන්නේ නම් ඔවුන්ගේ මැදිහත්වීම කිසිවකින් මට ප්‍රයෝජනවත් නො වෙයි. තවද ඔවුහු මා මුදවා නො ගනිති.”

“නියත වශයෙන් ම මම එවිට පැහැදිලි මුළාවෙහි වෙමි.”

“නියත වශයෙන් ම මම නුඹලාගේ පරමාධිපති විශ්වාස කළෙමි. එහෙයින් නුඹලා මට සවන් දෙනු.”

‘නුඹ ස්වර්ගයට පිවිසෙනු’ යැයි කියන ලදි. “අහෝ! මාගේ ජනයා (ඒ ගැන) දැනගන්නේ නම් මැනව!”යැයි පැවැසුවේ ය.

“මාගේ පරමාධිපති මට සමාව දී ඇති බවත් තවද ඔහු මා ගෞරවනීය අය අතරට පත් කර ඇති බවත් (ඔවුහු දැන ගන්නේ නම් මැනව)”

ඔහුගෙන් පසුව අහසින් කිසිදු සේනාවක් අපි ඔහුගේ ජනයා වෙත පහළ නො කළෙමු. තවද එසේ අපි පහළ කරන්නන් ලෙස නො සිටියෙමු.

එය එක ම එක් හඬක් මිස නො වීය. එසැනින් ඔවුහු අළු බවට පත් වූවෝ වූවෝ ය.

අහෝ ගැත්තන් වෙත වූ ඛේදය! ඔවුන් වෙත පණිවිඩකරුවෙකු පැමිණි විට ඔවුහු ඔහු සරදම් කරමින් සිටියා මිස නො වූවෝ ය.

ඔවුනට පෙර පරම්පරාවන් කොපමණක් අපි විනාශ කර ඇත්තෙමු දැ? යි ඔවුහු නො දුටුවෝ ද? නියත වශයෙන් ම ඔවුන් වෙත ඔවුන් නැවත නො පැමිණෙනු ඇත.

තවද සියලු දෙනා අප ඉදිරියේ සම්මුඛ කරවනු ලබන්නන් මිස නැත.

තවද මළ භූමිය ඔවුනට සංඥාවකි. අපි එය ප්‍රාණවත් කළෙමු. පසුව අපි එයින් ධාන්‍ය හට ගැන්වූයෙමු. එවිට ඔවුහු එයින් අනුභව කරති.

තවද අපි එහි ඉඳි හා මිදි උයන් ඇති කළෙමු. තවද එහි උල්පත් පීරා ගලා යන්නට සැලැස්වූයෙමු.

(එසේ කරනු ලැබුවේ) එහි බවභෝගවලින් ඔවුන් අනුභව කරනු පිණිසයි. තවද ඔවුන්ගේ අත් එය සිදු කළේ නැත. එහෙයින් ඔවුහු ගුණ ගරුක නො වන්නෝ ද?

මහපොළොවේ හට ගන්වන දැයින් ද ඔවුන් තුළින් ද එමෙන් ම ඔවුන් නොදන්නා දැයින් ද ඒ සියලු යුගලයන් මැවූ ඔහු සුවිශුද්ධ ය.

තවද රාත්‍රිය ද ඔවුනට සංඥාවකි. අපි එයින් දහවල වෙන් කරමු. එවිට ඔවුහු අඳුරෙහි සිටින්නෝ වෙති.

තවද හිරු, එයට නියමිත ස්ථානය වෙත ගමන් කරමින් සිටියි. එය සර්වඥානී සර්ව බලධාරියාගේ සැලසුමකි.

තවද සඳු, අපි එය නැවුනු ඉඳි රිකිල්ලක් මෙන් පත් වන තෙක් එයට ස්ථාන නිර්ණය කළෙමු.

සඳු වෙත ළඟා වන්නට හිරුට අවශ්‍යතාවක් නැත. තවද දහවල අබිබවා යන්නක් සේ රාත්‍රිය ද නැත. තවද සියල්ල (නියමිත) කක්ෂය තුළ පාවෙති.

තවද නියත වශයෙන් ම අපි ඔවුන්ගේ පරම්පරාව පටවනු ලැබූ නැවෙහි උසුලා ගෙනයාම ඔවුනට තවත් සංඥාවක් වේ.

තවද අපි ඔවුනට ඒ හා සමාන ඔවුන් ප්‍රවාහනය කරන දෑ මැව්වෙමු.

තවද අපි අභිමත කරන්නේ නම් ඔවුන් අපි ගිල්වා දමන්නෙමු. එවිට ඔවුනට පක්ෂව කිසිඳු හඬක් නො වනු ඇත. තවද ඔවුහු මුදවා ගනු නො ලබති.

එහෙත් (එය) අපගෙන් වූ කරුණාවක් හා ටික කලකට භුක්ති විඳීමක් වශයෙන් මිස නැත.

තවද නුඹලා (අල්ලාහ්ගේ) කරුණාව ලැබිය හැකි වනු පිණිස නුඹලා ඉදිරියේ ඇති දැයින් හා නුඹලාට පසුපසින් ඇති දැයින් ආරක්ෂා වනු යැයි ඔවුනට කියනු ලැබූ විට (ඔවුහු නො සැලකිලිමත් වූවෝ ය.)

තවද ඔවුන්ගේ පරමාධිපතිගේ සංඥා අතරින් යම් සංඥාවක් ඔවුන් වෙත පැමිණි විට ඔවුන් එය පිටුපාන්නන් ලෙස සිටියා මිස නැත.

තවද අල්ලාහ් නුඹලාට පෝෂණය කළ දැයින් නුඹලා වියදම් කරනුයි ඔවුනට කියනු ලැබූ විට ප්‍රතික්ෂේප කළවුන් විශ්වාස කළවුන් දෙස බලා “අල්ලාහ් අභිමත වී නම්, ඔහු කවරෙකුට ආහාර සපයන්නේ ද එවැන්නන්හට අපි ආහාර ලබා දිය යුතු ද? නුඹලා පැහැදිලි මුළාවෙහි මිස නැත” යැයි පවසා සිටියෝ ය.

තවද “නුඹලා සත්‍යවාදීන් වූයෙහු නම් මෙම ප්‍රතිඥාව (මළවුන්ගෙන් නැගිටුවනු ලැබීම) කවදා දැ?”යි ඔවුහු විමසති.

එක ම හඬක් මිස ඔවුහු බලාපොරොත්තු නො වෙති. ඔවුන් තර්ක කරමින් සිටිය දී එය ඔවුන් හසු කර ගනී.

එවිට අන්තිම කැමැත්ත ප්‍රකාශ කිරීමට හෝ ඔවුන්ගේ පවුල වෙත නැවත හැරී යාමට හෝ ඔවුහු හැකියාව නො දරති.

තවද හොරණෑවෙහි පිඹිනු ලැබී ය. එවිට ඔවුහු මිණී වළවල් තුළින් ඔවුන්ගේ පරමාධිපති වෙත වේගයෙන් බැහැරව යති.

“අහෝ අපගේ විනාශය! අප නිදා සිටින තැනින් අප අවදි කළේ කවු දැ?” යි ඔවුහු විමසති. මෙය මහාකරුණාන්විතයාණන් ප්‍රතිඥා දුන් දෑ සහ දහම් දූතවරුන් සත්‍ය කළ දෑ වේ. (යැයි පවසනු ලැබේ.)

එය එක ම හඬක් මිස නො වීය. එවිට ඔවුහු සියලු දෙනා අප ඉදිරියේ සම්මුඛ කරනු ලබන්නෝ වෙති.

අද දින කිසිදු ආත්මයක් කිසිවකින් හෝ අපරාධ කරනු නො ලබයි. නුඹලා සිදු කරමින් සිටි දෑට මිස නුඹලා ප්‍රතිඵල පිරිනමනු නො ලබන්නෙහු ය.

නියත වශයෙන් ම එදින ස්වර්ග වාසීහු කාර්යයන්හි සතුටින් නිරතව සිටින්නෝ වෙති.

ඔවුහු හා ඔවුන්ගේ බිරියන් සෙවනෙහි ඇති කවිච්චි මත (ඉතා සතුටින්) හාන්සි වී සිටින්නෝ වෙති.

ඔවුනට එහි පලතුරු ඇත. තවද ඔවුන් පතන දෑ ද ඔවුනට ඇත.

සලාම්! (ශාන්තිය). මෙය මහා කරුණාන්විත පරමාධිපතිගෙන් වූ ප්‍රකාශයක් වශයෙනි.

තවද “අහෝ වැරදිකරුවනි! අද දින නුඹලා වෙන්ව යනු” යැයි කියනු ලැබේ.

ආදම්ගේ දරුවනි! නුඹලා ෂෙයිතාන්ට ගැතිකම් නො කරන්නැයි මම නුඹලා වෙතින් ප්‍රතිඥාවක් නො ගත්තෙම් ද? නියත වශයෙන් ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි.

තවද නුඹලා මට නැමදුම් කරනු (යැයි ප්‍රතිඥාවක් නො ගත්තෙම් ද?) ඍජු මාර්ගය මෙය වේ.

තවද සැබැවින් ම නුඹලා අතරින් බොහෝමයක් මැවීම් ඔහු නොමග හැරියේ ය. එහෙයින් නුඹලා වටහා ගත යුතු නො වේ ද?

මෙය නුඹලා ප්‍රතිඥා දෙනු ලබමින් සිටි නිරයයි.

නුඹලා දේවත්වය ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් අද දින නුඹලා එහි පිවිසෙනු.

අද දින අපි ඔවුන්ගේ කටවල්වලට මුද්‍රා තබමු. තවද ඔවුන්ගේ අත් අප සමඟ කතා කරයි. තවද ඔවුන් උපයමින් සිටි දෑ ගැන ඔවුන්ගේ පාද සාක්ෂි දරයි.

තවද අපි අභිමත කරන්නේ නම් ඔවුන්ගේ ඇස් මත අන්ධභාවය ඇති කරන්නට තිබුණි. එවිට එම මාර්ගය වෙත ඔවුහු තරඟකාරී ලෙස යොමු වෙති. එවිට ඔවුන් කෙසේ නම් දකිනු ඇත් ද?

තවද අපි අභිමත කරන්නේ නම් ඔවුන්ගේ ස්ථානයෙහිම අපි ඔවුන්ගේ හැඩය වෙනස් කරන්නට තිබුණි. එවිට ඔවුහු ගමන් කිරීමට හැකියාව නො දරති. තවද ඔවුහු නැවත හැරී නො යති.

තවද අපි කවරෙකුට ආයු කාලය ලබා දුන්නෙමු ද මැවීම් ස්වභාවයෙහි අපි ඔහුව වෙනස් කරමු. ඔවුහු (මෙය) වටහා ගත යුතු නො වේ ද?

අපි ඔහුට (මුහම්මද්ට) කාව්‍ය ශාස්ත්‍රය ඉගැන්වූයේ නැත. තවද එය ඔහුට අවශ්‍ය නො වීය. තවද මෙය මෙනෙහි කිරීමක් හා පැහැදිලි පාරායනයක් මිස වෙනෙකක් නැත.

(මෙය) ජීවමානව සිටින්නන්හට ඔහු අවවාද කරනු පිණිස ය. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට (දඬුවමේ) ප්‍රකාශය නියම වනු පිණිස ය.

අපගේ අත් නිර්මාණය කළ දැයින් ගොවිපළ සතුන් ඔවුන් වෙනුවෙන් අපි නිර්මාණය කර තිබීම ඔවුහු නො දුටුවෝ ද? එහෙයින් ඔවුහු එයට උරුමක්කරුවෝ වූහ.

තවද අපි ඔවුනට ඒවා වසඟ කර දුනිමු. එහෙයින් ඒවායින් ඔවුන්ගේ ප්‍රවාහන පහසුකම් ඇත. තවද ඒවායින් ඔවුහු අනුභව කරති.

තවද ඔවුනට ඒවායෙහි ප්‍රයෝජන හා පානයන් ඇත. එහෙයින් ඔවුහු ගුණ ගරුක නො වන්නෝ ද?

තවද ඔවුන් උදව් ලබනු ඇතැයි (සිතා) අල්ලාහ්ගෙන් තොර වෙනත් දෙවිවරුන් ඔවුහු ගත්තෝ ය.

ඔවුහු තමන්ට ම උදව් කිරීමට ශක්තිය නො දරති. (විනිශ්චය දිනයේ) ඔවුනට (එරෙහිව) ඔවුහු සේනාවක් සේ ගෙන එනු ලබති.

එහෙයින් ඔවුන්ගේ ප්‍රකාශය ඔබ දුකට පත් නො කළ යුතු ය. ඔවුන් සඟවන දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද සැබැවින් ම අපි දනිමු.

නියත වශයෙන් ම අපි ඔහු ශුක්‍රාණු බිඳුවකින් මවා තිබීම මිනිසා නො දුටුවේ ද? එසේ තිබියදීත්, ඔහු (ව්‍යාජ දෑ ගෙන) පැහැදිලි තර්ක කරන්නෙකි.

තවද ඔහු අපට උපමා ගෙන හැර පාන්නේ ය. ඔහු ඔහුගේ මැවීම ගැන අමතක කළේ ය. “අස්ථි දිරාපත්ව තිබියදී ඒවාට යළි ජීවය දෙන්නා කවු දැ?”යි ඔහු විමසයි.

“මුල් වරට එය නිර්මාණය කළ අය එයට ජීවය දෙනු ඇත. තවද ඔහු සියලු මැවීම් පිළිබඳව සර්වඥානීය” යැයි (නබිවරය!) නුඹ පවසනු.

ඔහු වනාහි නුඹලාට අමු ගසින් ගින්දර ඇති කළේ ය. එවිට නුඹලා එයින් ගිනි දල්වන්නෙහු ය.

අහස් හා මහපොළොව මැවූ අය ඔවුනට සමාන දෑ මැවීමට ශක්තිය ඇත්තකු නො වේ ද? එසේ නො ව; ඔහුය සර්වඥානී මහා මැවුම්කරු.

නියත වශයෙන් ම ඔහුගේ නියෝගය වනුයේ ඔහු යමක් (නිර්මාණය කිරීමට) අදහස් කළ විට එයට ‘වනු’ යැයි පැවසීම පමණ ය. එවිට එය සිදු වනු ඇත.

එහෙයින් සියලු දෑහි ආධිපත්‍යයන් තම අතෙහි වූ ඔහු සුවිශුද්ධ විය. තවද ඔහු වෙතට මය නුඹලා යොමු කරනු ලබනුයේ.