The Noble Qur'an Encyclopedia
Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languagesMount Sinai [At-tur] - Sinhalese translation - Rowwad Translation Center
Surah Mount Sinai [At-tur] Ayah 49 Location Maccah Number 52
තූර් කන්ද මත දිවුරමින්;
ලියන ලද ග්‍රන්ථය මත දිවුරමින්;
දිගු හරින ලද ලේඛණයෙහි;
බයිතුල් මඃමූර් මත දිවුරමින්;
ඉහළට ඔස වන ලද වියන මත දිවුරමින්;
ගිනි මොළවනු ලබන මුහුද මත දිවුරමින්;
නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතිගේ දඬුවම සිදු වන්නක්ම ය.
එය වළක්වන කිසිවෙකු නැත.
එදින අහස දරුණු ලෙස කැරකෙමින් පවතී.
තවද කඳු දරුණු ලෙස විතැන් වෙමින් පවතී.
බොරු කළවුනට එදින විනාශයයි.
ඔවුහු වනාහි (පුහු කටයුතුවල) නිරතව කෙළිලොල් කරමින් සිටින්නෝ වෙති.
එදින නිරයේ ගින්න වෙත (දක්කාගෙන යමින්) වැරෙන් තල්ලු කරනු ලැබේ.
“නුඹලා බොරු කරමින් සිටි ගින්න මෙයයි”
මෙය හූනියමක් ද? එසේ නැතහොත් නුඹලා නො දකින්නෙහු ද?
නුඹලා එහි පිවිස දැවෙනු. එවිට නුඹලා ඉවසා විඳ දරා ගත්ත ද නො ඉවසුව ද නුඹලාට එක සමාන ය. නියත වශයෙන් ම නුඹලාට ප්‍රතිඵල පිරිනමනු ලබනුයේ නුඹලා සිදු කරමින් සිටි දෑ සඳහා ය.
නියත වශයෙන් ම බිය බැතිමත්හු (ස්වර්ග) උයන්හි හා සැප පහසුකම්හි සිටින්නෝ ය.
ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳව සතුටු වන්නන් ලෙස සිටින්නෝ ය. තවද ඔවුන්ගේ පරමාධිපති නිරයේ දඬුවමින් ඔවුන් ආරක්ෂා කළේ ය.
නුඹලා (මෙලොව) සිදු කරමින් සිටි දෑ හේතුවෙන් සතුටින් අනුභව කරනු. තවද පානය කරනු. (යැයි පවසනු ලැබේ.)
පෙළට තබන ලද ඇඳන් මත හාන්සිවෙමින් (සිටිති). තවද අපි ඔවුනට හූරුන් ඊන් (හෙවත් දැකුම් කලු යුවතියන්) සරණපාවා දෙන්නෙමු.
තවද කවුරුන් දේවත්වය විශ්වාස කොට ඔවුන්ගේ පරපුර ද විශ්වාසයෙන් යුතුව ඔවුන්ව අනුගමනය කළවුන් වනාහි ඔවුන්ගේ පරපුර අපි ඔවුන් සමඟ එක් කරන්නෙමු. තවද ඔවුන්ගේ ක්‍රියාවෙන් අපි ඔවුනට කිසිවක් අඩු නො කරන්නෙමු. සෑම පුද්ගලයකුම ඔහු උපයා ගත් දෑට ඇපයක් ලෙස සිටින්නේ ය.
තවද ඔවුන් ප්‍රිය කරන දැයින් පලතුරු හා මාංශ අපි ඔවුනට සපයන්නෙමු.
ඔවුහු එහි (පැන්) කුසලාන හුවමාරු කර ගනිති. කිසිදු නිෂ්ඵල දැයක් හෝ පාපයට පෙළඹවීමක් හෝ එහි නැත.
තවද ඔවුන් වෙනුවෙන් (සේවයේ නිරත) සිටින ළමුන් ඔවුන් වටා යති. නියත වශයෙන් ම ඔවුහු සුරක්ෂා කරන ලද මුතු මෙන් වෙති.
ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු වෙතට මුහුණලමින් එකිනෙකා විමසා ගනිති.
“මීට පෙර නියත වශයෙන් ම අපි අපගේ පවුල සම්බන්ධයෙන් බියට පත්වන්නන් ලෙස සිටියෙමු” යැයි ඔවුහු පවසති.
“එවිට අල්ලාහ් අප වෙත උපකාර කළේ ය. තවද පිලිස්සෙන ගින්නේ වේදනාවෙන් ඔහු අප මුදවා ගත්තේ ය.”
“නියත වශයෙන් ම අපි පෙර සිට ම ඔහුට අයැදිමින් සිටියෙමු. නියත වශයෙන් ම ඔහු මය උපාකාරශීලී; මහා කරුණාවන්ත.”
එහෙයින් (නබිවරය!) නුඹ මෙනෙහි කරනු. නුඹේ පරමාධිපතිගේ ආශිර්වාදයෙන් නුඹ ජ්‍යෝතිෂ්‍ය වේදියකු හෝ උම්මත්තකයකු හෝ නො වේ.
“එසේ නැතහොත් ඔහු කවියෙකි. කාලයාගේ ඇවෑම (ඔහු විනාශ කරනු ඇතැයි) අපි ඔහු ගැන බලාපොරොත්තු වන්නෙමු” යැයි ඔවුහු පවසන්නෝ ද?
“නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. එවිට නියත වශයෙන් ම මම ද නුඹලා සමඟ බලාපෙරොත්තු වන්නන් අතරින් වෙමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.
එසේ නැතහොත් ඔවුන්ගේ සිතුවිලි ඔවුනට මේ ගැන නියෝග කරන්නේ ද? එසේ නැතහොත් ඔවුහු සීමාව ඉක්මවා ගිය පිරිසක් ද?
එසේ නැතහොත් “මෙය ඔහු ගෙතුවේයැ”යි ඔවුහු පවසන්නෝ ද? එසේ නොව ඔවුහු විශ්වාස නො කරති.
ඔවුන් සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මේ හා සමාන ප්‍රකාශයක් ඔවුහු ගෙන ආ යුතු ය.
එසේ නැතහොත් කිසිවක් නොමැතිව ඔවුන් මවනු ලැබුවෝ ද? එසේ නැතහොත් මවන්නෝ ඔවුහු ද?
එසේ නැතහොත් ඔවුහු අහස් හා මහපොළොව මැව්වෝ ද? එසේ නොව ඔවුහු තරයේ විශ්වාස නො කරති.
එසේ නැතහොත් ඔවුන් අබියස නුඹගේ පරමාධිපතිගේ භාණ්ඩාගාර තිබේ ද? එසේ නැතහොත් (ඒ මත) ආධිපත්‍යය දරන්නෝ ඔවුහු ද?
නැත්නම් ඔවුන්ට ඉණිමගක් තිබී එහි (අහසේ දේව පණිවිඩවලට) ඇහුම්කන් දෙත් ද? එසේ නම් ඔවුන්ගෙන් සවන්දෙන්නා පැහැදිලි සාධකයක් ගෙනෙත්වා!
එසේ නැතහොත් (අල්ලාහ් වන) ඔහුට දූවරුන් වී නුඹලාට (පමණක්) පුතුන් වී ද?
එසේ නැතහොත් නුඹ ඔවුන්ගෙන් යම්කිසි කුලියක් ඉල්ලන්නෙහි ද? ඒ හේතුවෙන් ඔවුහු ණය බර උසුලන්නෝ ද?
එසේ නැතහොත් ඔවුන් අබියස අදෘශ්‍යමාන දෑ (පිළිබඳ ඥානය) තිබී ඔවුහු සටහන් කරන්නෝ ද?
එසේ නැතහොත් ඔවුහු කුමන්ත්‍රණයක් (නුඹට එරෙහිව කිරීමට) අදහස් කරන්නෝ ද? දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහු මය කුමන්ත්‍රණයේ හසු වී සිටින්නෝ.
එසේ නැතහොත් අල්ලාහ්ගෙන් තොරව (වෙනත්) දෙවිඳෙකු ඔවුනට සිටිත් ද? ඔවුන් ආදේශ තබන දැයින් අල්ලාහ් සුවිශුද්ධ ය.
තවද අහසින් කැබැල්ලක් වැටෙනු ඔවුහු දුටුවා වුවද (ඒවා) ගොඩගැසුනු වලාකුළු සමූහයක් යැයි ඔවුහු පවසති.
එහෙයින් එහි ඔවුන් විනාශ කරනු ලබන ඔවුන්ගේ දිනය ඔවුන් හමු වන තෙක් (නබිවරය!) නුඹ ඔවුන් අතහැර දමනු.
එදින ඔවුන්ගේ කුමන්ත්‍රණය ඔවුනට කිසිවකින් ප්‍රයෝජනවත් නො වෙයි. තවද ඔවුහු උදව් කරනු නො ලබති.
තවද නියත වශයෙන් ම අපරාධ කළවුන්ට ඒ හැර තවත් දඬුවමක් ඇත. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නො දනිති.
තවද (නබිවරය!) නුඹගේ පරමාධිපතිගේ නියෝගය උදෙසා ඉවසා සිටිනු. මන්ද නියත වශයෙන් ම නුඹ සිටිනුයේ අපගේ අධීක්ෂණය යටතේ ය. තවද නුඹ අවදි වන අවස්ථාවේ නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් නුඹ සුවිශුද්ධ කරනු.
තවද රාත්‍රියෙහි ද තරු බැස යන අවස්ථාවෙහි ද නුඹ ඔහු සුවිශුද්ධ කරනු.