عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The moon [Al-Qamar] - Sinhalese translation - Rowwad Translation Center

Surah The moon [Al-Qamar] Ayah 55 Location Maccah Number 54

අවසන් හෝරාව සමීප වී ඇත. තවද චන්ද්‍රයා පැළී ගොස් ඇත.

තවද යම් සංඥාවක් ඔවුන් දුටුවා වුව ද ඔවුන් පිටුපා (මෙය) “පැවත එන මායාවක්” යැයි පවසති.

තවද ඔවුහු බොරු යැයි පවසා තම ආශාවන් අනුගමනය කළෝ ය. තවද (යහපත් හා අයහපත් යන) සෑම කරුණක් ම සිදුවන්නකි.

තවද අවවාදයන් ඇතුළත් තොරතුරු ඔවුන් වෙත සැබැවින් ම පැමිණ ඇත.

එය ගැඹුරු ප්‍රඥාවකි. නමුත් එම අවවාදය ඵලක් නොවීය.

එහෙයින් (නබිවරය!) නුඹ ඔවුන්ගෙන් ඉවත් වනු එදින (ඉස්රාෆීල් හෙවත්) කැඳවන්නා පිළිකුල් කරුණක් වෙත කැඳවනු ඇත;

ඔවුන්ගේ බැල්ම පහත හෙළමින්, නියත වශයෙන්ම ඔවුන් විසිරී යන පළඟැටියන් මෙන් මිනිවළවල් වෙතින් බැහැර වෙති.

කැඳවන්නා වෙත (බෙලි දිගු කරමින්) වේගයෙන් පැමිණෙන්නන් ලෙසින් (ඔවුහු බැහැර වෙති.) “මෙය දුෂ්කර දිනයකි” යැයි ප්‍රතික්ෂේපකයෝ පවසති.

ඔවුනට පෙර සිටි නූහ්ගේ ජනයා ද බොරු කළෝ ය. එසේ ම ඔවුහු අපගේ ගැත්තා බොරු කොට උම්මත්තකයෙකු යැයි පැවසූහ. තවද ඔහු පලවා හරිනු ලැබී ය.

එවිට ඔහු නියත වශයෙන් ම “මා අබිබවා යනු ලැබුවෙමි. එහෙයින් මට උදව් කරනු මැනව!” යැයි ඔහුගේ පරමාධිපතිට ප්‍රාර්ථනා කළේ ය.

එවිට අපි ඇද වැටෙන වැසි ජලයෙන් අහස්හි දොරවල් විවෘත කළෙමු.

තවද අපි මහපොළොවෙහි උල්පත්හට ගැන්වූයෙමු. එවිට පෙර නිර්ණය කරන ලද කරුණක් අනුව එම ජලය (වැසි ජලය සමඟ) එකතු විය.

තවද ලෑලි හා ඇන සහිත දෑ (නැව) මත අපි ඔහු ඉසිලුවෙමු.

ප්‍රතික්ෂේප කරනු ලැබ සිටි අයට විපාකයක් වශයෙන් අපගේ අධීක්ෂණය යටතේ එය යාත්‍රා විය.

තවද සැබැවින් ම අපි එය (පසුකාලීන ජනයාට) සංඥාවක් වශයෙන් ඉතිරි කළෙමු. එහෙයින් උපදෙස් ලබන කිසිවකු හෝ වෙත් ද?

එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?

තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින් ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?

ආද් සමූහයා බොරු කළෝ ය. එහෙයින් මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?

අඛණ්ඩව පැවතුණු අභාග්‍යයමත් දිනක නියත වශයෙන් ම අපි ඔවුන් වෙත මහා ශබ්දයකින් යුත් සුළගක් එව්වෙමු.

නියත වශයෙන් ම ඔවුන් මුලිනුදුරන ලද රටඉඳි ගස් කදන් මෙන් එය මිනිසුන්ව උගුලා (විසිකර) දැමී ය.

එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?

තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින් ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?

සමූද් ජනයා එම අවවාදය බොරු කළෝ ය.

අපගෙන් එක් මිනිසෙකු වූ ඔහුව ද අපි අනුගමනය කළ යුත්තේ? නියත වශයෙන් ම අපි එවිට නොමගෙහි හා දුෂ්කරත්වය තුළ වන්නෙමු යැයි ඔවුහු පැවසුවෝ ය.

“අප අතරින් ඔහු වෙත උපදෙස ඉදිරිපත් කරනු ලැබුවේ ද? එසේ නොව ඔහු ගර්වයෙන් යුත් මහා බොරුකාරයෙකි.”

ගර්වයෙන් යුත් මහා බොරුකාරයා කවුරුන් දැ? යි මතු දින ඔවුන් දැන ගනු ඇත.

නියත වශයෙන් ම අපි ඔටු දෙන ඔවුනට පරීක්ෂණයක් ලෙසින් එවන්නෝ වූයෙමු. එහෙයින් (සාලිහ්!) නුඹ ඔවුන් ගැන විමසිල්ලෙන් සිටිනු. තවද ඉවසීමෙන් සිටිනු.

තවද නියත වශයෙන් ම ජලය ඔවුන් අතර බෙදී යා යුත්තකි. සෑම පාන වාරයක් ම පිළිපැදිය යුත්තකි යැයි (සාලිහ්!) නුඹ පවසනු.

එවිට ඔවුහු ඔවුන්ගෙන් වූ සගයකු කැඳවූවෝ ය. එවිට ඔහු (කඩුව) අමෝරා ගෙන (ඔටු දෙනගේ) ගෙල නහර කපා හැරියේ ය.

එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?

නියත වශයෙන් ම අපි ඔවුන් වෙත එක් ගිගුරුම් හඬක් එව්වෙමු. එවිට ඔවුහු සත්ව ගාලක පෑගුණු පිදුරු මෙන් වූහ.

තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින් ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?

ලූත්ගේ ජනයා ද එම අවවාදය බොරු කළෝ ය.

නියත වශයෙන් ම අපි ඔවුන් වෙත ගල් වර්ෂාවක් එව්වෙමු. (එය ඔවුන් විනාශ කර දැමී ය.) එහෙත් ලූත්ගේ (පාර්ශව) ජනයා වෙත හැර. අපි ඔවුන් අලුයම් කාලයේ මුදවා ගත්තෙමු.

(මෙය) අප වෙතින් වූ ආශිර්වාදයක් වශයෙනි. අපි ගුණගරුක වූවනට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙස ය.

තවද අපගේ ග්‍රහණය පිළිබඳ සැබැවින් ම ඔහු (ලූත්) ඔවුනට අවවාද කළේ ය. එහෙත් එම අවවාදය පිළිබඳ ඔවුහු සැක (කොට තර්ක) කළෝ ය.

ඔහුගේ ආගන්තුකයින් සමඟ අශීලාචාර ලෙස හැසිරීමට ඔවුහු ඔහුගෙන් පැතුවෝ ය. එවිට අපි ඔවුන්ගේ ඇස් අන්ධ කළෙමු. එහෙයින් “මාගේ දඬුවම හා මාගේ අවවාදය නුඹලා භුක්ති විඳිනු” (යැයි පැවසුවෙමු.)

තවද ස්ථීර දඬුවමක් උදෑසන සැබැවින් ම ඔවුනට උදා විය.

එහෙයින් මාගේ දඬුවම හා මාගේ අවවාදය නුඹලා භුක්ති විඳිනු.

තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින් ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?

තවද ෆිර්අවුන්ගේ ජනයා වෙත ද අවවාදය සැබැවින් ම පැමිණියේ ය.

ඔවුහු අපගේ වදන් සියල්ල බොරු කළෝ ය. එවිට අපි බලවත් බලධාරියකුගේ ග්‍රහණය මෙන් අපි ඔවුන් ග්‍රහණය කළෙමු.

(මක්කා වැසියනි!) නුඹලා අතර සිටින දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් (පෙර විසූ) ජනයාට වඩා ශ්‍රේෂ්ඨ ද? එසේ නැතහොත් (දඬුවමින් මිදීමට) ග්‍රන්ථයන්හි නුඹලාට (යම්කිසි) නිදහසක් ලබා දී තිබේ ද?

එසේ නැතහොත් “අපි සියල්ලෝ ම ජය ලබන්නෝ වෙමු” යැයි ඔවුහු පවසන්නෝ ද?

මෙම පිරිස පරාජයට පත් කරනු ලබනු ඇත. තවද ඔවුහු පසුපස හැරී යනු ඇත.

එහෙත් අවසන් හෝරාව ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූවකි. තවද අවසන් හෝරාව වඩාත් බිහිසුණු ය. තවද වඩාත් අමිහිරි ය.

නියත වශයෙන් ම වැරදි කරුවෝ නොමගෙහි හා (නිරා ගින්නේ) වේදනාවෙහි සිටිති.

එදින ඔවුන්ගේ මුහුණු නිරයේ ගින්න වෙත ඇදගෙන යනු ලැබේ. නිරා ගින්නේ දඬුවම නුඹලා භුක්ති විදිනු (යැයි පවසනු ලැබේ.)

නියත වශයෙන් ම අපි සෑම දෙයක් ම ප්‍රමාණයකින් යුතුව මවා ඇත්තෙමු.

තවද අපගේ නියෝගය ඇසි පිය ගසන්නාක් මෙන් එකක් පමණි.

තවද සැබැවින් ම අපි නුඹලා මෙන් වූවන් විනාශ කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවෙකු හෝ වෙත් ද?

තවද ඔවුන් සිදු කළ සියලු දෑ ලේඛනවල (ලියවී) ඇත.

තවද කුඩා හා විශාල සියලු දෑ ලියා තබනු ලැබීය.

නියත වශයෙන් ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන්හි හා ගංඟාවෙහි සිටිති.

සර්ව බලාධිකාරී රජු අබියස සත්‍යය ස්ථානයෙහි ය.