عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The rising of the dead [Al-Qiyama] - Sinhalese translation - Rowwad Translation Center

Surah The rising of the dead [Al-Qiyama] Ayah 40 Location Maccah Number 75

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මත දිවුරමි.

තවද දොස් නගන ආත්මය මත දිවුරමි.

ඔහුගේ අස්ථි අපි එක්රැස් නො කරන්නේ ම යැයි මිනිසා සිතන්නේ ද?

එසේ නොව ඔහුගේ ඇඟිලි තුඩු පවා සකස් කිරීමට අපි ශක්තිවන්තයින් වෙමු.

එහෙත් මිනිසා ඔහු ඉදිරියේ පාපයන් කිරීමට සිතයි.

“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය කවදා දැ”යි ඔහු විමසා සිටියි.

දෘෂ්ටිය (නීලංකාරවී) මුළා වී ගිය විට,

තවද සඳු(ගේ අලෝකය) ගිලුනු විට,

තවද හිරු හා සඳු එක් කරනු ලැබූ විට,

පලා යන තැන කොතැන දැ? යි එදින මිනිසා විමසනු ඇත.

එසේ නොව සරණ පතන තැනක් (ඔහුට) නොමැත.

එදින වාසස්ථානය නුඹගේ පරමාධිපති වෙත පිහිටයි.

ඔහු කලින් කළ දෑ හා ඔහු පසුවට කළ දෑ සම්බන්ධයෙන් එදින මිනිසාට දන්වනු ලැබේ.

එසේ නො ව, තමන් ගැන මිනිසා සාක්ෂි දරන්නේ ය.

ඔහු සමාවට හේතූන් ඉදිරිපත් කළ ද.

එය (කුර්ආනය කියවීමට) ඉක්මන් කරනු පිණිස නුඹගේ දිව එයින් නො සොල්වනු.

එය ගොනු කිරීම ද එය පාරායනය කරවීම ද නියත වශයෙන්ම අප වෙත වූ වගකීමකි.

එහෙයින් අපි එය පාරායනය කළ විට නුඹ එහි පාරායනය අනුගමනය කරනු.

පසුව එය පැහැදිලි කිරීම ද නියත වශයෙන් ම අප වෙත පැවරුණු වගකීමකි.

එහෙත් නුඹලා මෙලොව ප්‍රිය කරන්නෙහු ය.

තවද නුඹලා මතු ලොව අත හැර දමන්නෙහු ය.

එදින ඇතැම් මුහුණු දීප්තිමත්ව පවතී.

තම පරමාධිපති දෙස බලමින් සිටිති.

තවද එදින ඇතැම් මුහුණු (අඳුරින් වෙළී) විරූපව පවතී.

(කොඳු ඇට පෙළ කඩා දමන) මහත් දඬුවමක් එයට සිදු කරනු ලබනු ඇතැයි සිතති.

එසේ නොව (ප්‍රාණය) උගුරු දණ්ඩ දක්වා ළඟා වූ විට;

තවද ආරක්ෂා කරන්නා කවුරුන් දැ? යි විමසනු ලැබු විට;

නියත වශයෙන් ම තමන් වෙන්ව යෑම එය වේ යැයි ඔහු සිතූ විට;

කෙණ්ඩය කෙණ්ඩය සමග ඇමුණුනු විට;

එදින මෙහෙය වනු ලබන ස්ථානය නුඹගේ පරමාධිපති වෙත ය.

තවද ඔහු සත්‍ය තහවුරු කළේ නැත. තවද ඔහු සලාතය ඉටු කළේ ද නැත.

එහෙත් ඔහු බොරු කළේ ය. තවද පිටුපෑවේ ය.

පසුව ඔහු තම පවුල වෙත අහංකාරකම් පාමින් ගියේ ය.

නුඹට (දඬවම) සමීප විය. වඩාත් සමීප විය.

පසු ව ද සමීප විය. වඩාත් සමීප විය.

නිකරුණේ ඔහු අත හැර දමනු ලබනු ඇතැයි මිනිසා සිතන්නේ ද?

විදිනු ලබන ශුක්‍රාණු බිඳුවක් ලෙස ඔහු නොසිටියේ ද?

පසුව ඔහු එල්ලී පවතින ලේ කැටියක් බවට පත් විය. පසුව ඔහුව මවා සැකසුවේ ය.

පසු ව එයින් ස්ත්‍රිය හා පිරිමියා යන යුගලය ඇති කළේ ය.

(මේ සියලු දේ කළ) ඔහු, මළවුන් නැගිටුවීමට හැකියාව ඇත්තා බවට ඒවා (සාක්ෂියක් ලෙස) පිහිටා නොමැති ද?